Movies

ගැහැනුන් බිත්තරය…. NO LIMIT චිත්‍රපටය කියන්නේ ඒ ගැනය….

සටහන - රසිකා හේමමාලි

ගැහැනුන් බිත්තරය. බිත්තරයෙන් ගලට ගැහුවත් ගලෙන් බිත්තරයට ගැහුවත් තැලෙන්නේ බිත්තරය මිස ගල නොවේ…!!

NO LIMIT (2022) චිත්‍රපටය කියන්නේ ඒ ගැනය.

රොක්සානා ආබෲ කිමිදීමට ආදරය කරන තරුණියකි. ඇය හිතුවක්කාරය. මවගේ කීමටද පිටුපා ඇය කිමිදීම පුහුණුවීමට යන්නේ කිමිදුම් ලෝක වාර්තා තැබූ පැස්කල්ගේ කණ්ඩායමටයි. පැස්කල් ඇයගේ පුහුණුකාරිනිය බවට පත් වේ. කණ්ඩායමට පැමිණි මොහොතේ සිට ඇය ගැන කැමැත්තෙන් සිටි තරුණයකු සිටියදී කෙටි කාලීන සබඳතාවයකින් පසුව ඇය පැස්කල්ගේ සහකාරිය බවට පත් වේ. වෙනත් තරගකාරිනියක පසුකොට පැස්කල් නිදහස් කිමිදුම් අංශයෙන් මීටර් 176ක ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ කළද ඔහුගේ රෝගී තත්ත්වයක් නිසා මේ තරගයට සාර්ථිකව මුහුණදීමට නොහැකි වේ. පැස්කල්ගේ කණ්ඩායමේ තීරණය අනුව තරුණ ජවයෙන් යුතු නවක කිමිදුම්කරිය වන රොක්සානා ලෝක වාර්තා තරගයට ඉදිරිපත් කිරීමට තීරණය විය. නමුත් මේ තීරණයට පැස්කල් කැමති වන්නේ නැත. එහෙත් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ කැමැත්ත මත ඇය වාර්තාව අලුත් කරමින් ඉදිරියට පැමි⁣ණෙන්නීය. ඇය ලෝක වාර්තාව අලුත් කරමින් පැස්කල්ද අභිබවා මීටර් 176ක වාර්තාව තබද්දී වෛද්‍ය මතය පසෙක දැමූ ඔහු නැවතත් තරගයට පිවිසුණත් ඔහුගේ ජීවිතය බේරෙන්නේ සියයට අනූ නවයෙනි. තරුණ ජවයෙන් යුතු නවක කිමිදුම් තරුව රොක්සානා මනා විශ්වාසයකින් යුතුව මීටර් 180ක NO LIMIT නිදහස් කිමිදුම් තරගාවලියේ ලෝක වාර්තාව තැබීමට සියල්ල සූදානම්ය. දිය යට කිමිදී නැවත දියමතට ඒමට යොදාගන්නා ඔක්සිජන බැලූනය සහිත යන්ත්‍රය කවදාවත් නැතිව පැස්කල් විසින් පිරික්සන ලදී. ඇය තරගයට පිවිසෙන්නීය. අභියෝගාත්මක මීටර් 180ක් ගැඹුරට මුහුදේ කිමිදී ලෝක වාර්තාව තැබීමට මත්තෙන් නැවත දියමතට පැමිණිමට ඔක්සිජන් බැලුනය ක්‍රියාත්මක කලද එය ක්‍රියා විරහිත වී තිබිණි. ජයග්‍රහණය පෙනි පෙනී පරාජයටත් මරණයටත් මෙහායින් ඇය දියමතට ගෙන ඒමට ආරක්ෂකයන් සූදානම් වුවත් රොක්සානා පරාජය සමඟ මරණය තෝරාගන්නීය.

ඈ පිළිබඳව මුලින්ම කැමැත්තෙන් සිටි තරුණයා ඇයගේ මරණය හමුවේ කඳුලු සලද්දී පැස්කල් කිසිත් නොදැනුනා සේ සිටියේය.

ප්‍රංශ නිදහස් කිමිදුම්කාරිණියක වූ Audrey Mestreගේ (1974- 2002) සැබෑ ජීවන කතාව ඇසුරින් නිර්මාණය කර ඇති NO LIMIT චිත්‍රපටය ලෝකය පුරාවට ඊර්ෂයාකාර පුරුෂයන් විසින් ස්ත්‍රීන් කුණු මුල්ලට දමන සමාජධුරාවලිය පසක් කරවන නිර්මාණයකි.

ලස්සන ගැහැනු ඇඳටත් කැත ගැහැනු ගෙදරටත් ගන්නා පිරිමි මේ සමාජයේ සුලබය. බොහෝ පිරිමි තමාට වඩා අදක්ෂ, පෙනුමෙන් අඩු ගැහැනු තම කසාදයට තෝරාගන්නේ මේ සමාජයේ පමණකැයි මා විශ්වාස කළ මතය NO LIMIT ප්‍රංශ චිත්‍රපටය විසින් බිඳ හෙලන ලදී. පිරිමින් විසින් දක්ෂ ගැහැනුන් සමග පටන් ගන්නා කුටුම්භයක් හෝ ඒ ආශ්‍රිත බැඳීමකදී එක්කෝ එම ගැහැනිය තනි මඟක් තෝරා ගැනීම,අන් මඟක් තෝරා ගැනීම අප වැනි සමාජයකට වඩා බටහිර සමාජවල වැඩි වශයෙන් සිදු වනු ඇති. මේ සමාජයේදී නම් ඇය ගෙයි මුල්ලට වී පවුල රැක ගැනීමට තීරණය කිරීම බොහෝ ගැහැනුන්ගේ උරුමය වී හමාරය.

NO LIMIT අන් කිසිදු චිත්‍රපටයකින් නොදැකපු ස්ත්‍රීන්ගේ ඇසින් බැලිය යුතු අංශයක් මා හට ප්‍රත්‍යක්ෂ කෙරිණි. ස්ත්‍රීන් සහකරුවකු තෝරාගත යුත්තේ ආදරය ජීවිතය බෙදාගැනීමට සූදානම් පුද්ගලයකු සමඟ මිස ඇය සමඟ තරගයක් හදාගත් තරගකරුවකු සමඟ නොවේ. එම තරගකරුවා සමග තරගයක් දීමට ඇය සූදානම් වුවහොත් පිරිමියා ඇයව රොක්සානාට මෙන්ම සියතින් ගෙල වැළලා ගැනීමට රැහැන් පට ඇගේ දෙපා පාමුලට ගෙනත් දමනු ඇත. ගලෙන් බිත්තරයට ගැහුවත් බිත්තරයෙන් ගලට ගැහුවත් තැලෙන්නේ බිත්තරය මිස ගල නොවේ. ගැහැනුන්ද බිත්තර වාගේය. රොක්සානාගේ තෝරා ගැනීම වැරදි බව පසුව ඇය⁣ට තේරුම් ගියාය. ඈ ඒ බව කියන්නීය. ඇයට පැස්කල්ගෙන් මිදී යෑමට අවශ්‍ය වුවත් ඊට ඔහු ඉඩ දෙන්නේද නැත. ඈ විසින්ම සකසා ගත් ඇගේ දෛවය හමුවේ රොක්සානා කායිකව මරණය තෝරාගත්තාය. නමුත්, අපේ සමාජයේ ගැහැනු බොහෝමයක් තම සහකරුවා නිසා ඇවිදන මළකඳන් බවට පත් වී හමාරය.

Advertisement

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button