Stage Drama

“අර්බුද මැදත් නාට්‍ය‍ෙව්දීන් වේදිකාව අතහැර නොයෑම වටිනවා”

නාට්‍යවේදී චාලක රණසූරිය | සටහන සහ සේයාරූ - තිලානි ශානිකා විතානච්චි (සරසවිය පුවත්පත)

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය පිටපත් රචකයකු විදියට වගේ ම අධ්‍යක්ෂවරයකු විදියටත් ඔබ හමුවට එන චාලක රණසූරියගේ නවතම වේදිකා නාට්‍යය ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’. මීට පෙර ‘මාරක ළිඳේ සවාරියක්’, ‘බොක්ස්’ වේදිකා ගත කළ චාලක රණසූරිය ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ අරගෙන එන්නේ බොහොම කාලයකට පස්සේ.

“ඉතිං කාලයකට පස්සේ”

“මම හිතන්නේ අවුරුදු හතකට විතර පස්සේයි මම වේදිකාවත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ අතර කාලයේ ‘මාරක ළිඳේ සවාරියක්’ වේදිකා නාට්‍යය වේදිකා ගත කිරීම දිගටම සිදු වුණා. පසුගිය කාලයේ එහි වේදිකා ගත වුණේ පනස්වැනි දර්ශනය.”

‘මාරක ළිඳේ සවාරියක්’ වේදිකා නාට්‍යය මේ විදියට වේදිකා ගත වෙද්දි ඔහුගේ අලුත් වේදිකා නාට්‍යයට මුල පුරනවා. ඒ මුල පිරිල්ලත් එක්ක පසුගියදා පුහුණු වීම් සිදු කළ චාලකගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ පසුගියදා වේදිකා ගත වුණා.

“හරියටම ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ පසුගියදා වේදිකාගත වුණා

“ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ පසුගිය 11 වැනිදා එල්ෆිනිස්ටන් රඟහලේ වේදිකාගත වුණා. මේ වේදිකා නාට්‍යය රචනා කරලා අධ්‍යක්ෂණය කළේ මම. නිෂ්පාදනය කරන්නේ දිලූපා නිරෝෂනී ද අල්විස් රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිපදෙනෙකුම. සරත් කරුණාරත්න, කුසල් මධුරංග, සුලෝචනා වීරසිංහ වගේ ම සිලිඳු රංවල, චානක බණ්ඩාර, සදිසා ධර්මප්‍රේම කියන රංගන ශිල්පීන් ශිල්පිනියනුත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ආනුශාංගික අංගවලින් සම්බන්ධ වෙන්නේ පසුතලය ප්‍රදීප් චන්ද්‍රසිරි, රංගාලෝකය රංග සමරකෝන්, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, වේදිකා පරිපාලනය නාමල් ගමගේ, භාතිය රවිශංක, අංගරචනය රන්දික ටිශාන්, සංගීතය හේෂාන් කුරුප්පු කියන පිරිස. මේ සියලු දෙනාගේ ම සහයෝගයෙන් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා ගත වුණා.”

‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ ටිකක් වෙනස් විදියේ නමක්. එහෙම නමක් තියන්නත් මොකක් හරි වෙනස් විදියේ හේතුවක් චාලකට ඇති කියලයි හිතෙන්නේ.

“මෙහෙම නමක් තියන්න හිතුවේ ඇයි?”

“ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’. මේ කතාව යන්නේ සාමාන්‍ය මධ්‍යයම පාන්තික පවුල් ජීවිතයක් වටා. එවැනි පන්තියක සාටෝපකාරී ජීවිතයක තියෙන ව්‍යාජයයි අපි එළියට දාන්නේ. ඒ ජීවිතය ඇතුළේ හැමෝම ඉන්නේ කැලැන්ඩරයේ දින එක්ක ෆ්රේම් වෙලා ඉන්නේ. අපේ හැමදේම සැලසුම් වෙන්නේ කැලැන්ඩරයේ දින අනුවයි. ඒ අනුව ෆ්රේම් වෙලා තියෙන ජීවිතයේ සමහර තැන් අවුල් වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ මේ සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන යනවා කියලා පෙන්නන්න දරන උත්සහය ඇතුළේ ම හුඟක් තැන් අසාර්ථක වෙනවා. ඒත් අපි ඒ ජීවිතයේ දේවල් එළියට දෙන්නේ නැහැ. ඒවා හංගගෙන ඉන්නවා. ඒ වගේ අද සමාජයේ අපි අතර එළියට වෙන ප්‍රතිරූපයක් මවාගෙන ඉන්න දැවැන්ත ප්‍රතිරූප ඉන්නවා. ඒත් ඒවා ඇතුළේ ඛේදවාචක බොහොමයක් හැංගිලා. එහෙම දෙයක් තමයි මේ වේදිකා නාට්‍යයෙන් එළියට ගන්නේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ කියලා.”

මධ්‍යම පාන්තික ජීවිතවල තියෙන නිස්සාරත්වය; මවාපෑම. ඒ මවාපෑම් රාශියක් ඇතුළේයි අපි සියලු දෙනාම ජීවත් වෙන්නේ. ඒ ජීවිතයේ සැබෑව වසන් කරගෙන මේ ගෙවන ජීවිතය කොතනට ද අරගෙන යන්නේ.

“මේ වේදිකා නාට්‍යයෙන් සාකච්ඡා වෙන්නේ ඒ කාරණය විතරම ද?”

“මධ්‍යම පාන්තික පවුල්වල ඝට්ටනය වගේ ම අපේ සමාජයේ සිදු වන සිවිල් ප්‍රතිරූප වටා එකතු වන පිරිස් හා ඒ අයව රැවටීමත් මේ සමඟ කතාබහ වෙනවා. ඒ වගේ ම ඒ ඇන්දිල්ල අස්සේ තියෙන ව්‍යාජයත් මේ වේදිකා නාට්‍යය ඇතුළේ දි කතා කරනවා. තව කිව්වොත් හුඟක් වෙලාවට අපි මිථ්‍යාවට රැවටෙනවා. අනෙක් කාරණය වෙන්නේ ඒ සිවිල් ප්‍රතිරූප දෙන සමහර දේවල් අපි දේවත්වයෙන් පිළිගන්නවා. ඒ කියන්නේ එහෙම චරිත අපේ රටේ කාලෙන් කාලයට බිහි වෙනවා. ඒ වටා ඒ ආධිපත්‍ය, කැරිස්මටික් ආධිපත්‍ය වටා එකතු වන අය, තමන්ගේ තියෙන මුදලුත් වියදම් කරගන්නවා. ඒ විදියට වියදම් කරගෙන ඔවුන් සාර්ථක ජීවිතයක් ගෙවන්න සිහින දකිනවා. ඒ කියන්නේ හෙට දවසේ සාර්ථක ජීවිතයක් ගෙවන්න සිහින දකිනවා. හැබැයි ඒ සිහින පෙන්වන හා උපදෙස් දෙන අය ඇතුළේත් තියෙනවා ඛේදවාචකයක්. ඒකයි අපි මේ නාට්‍යයෙන් එළියට ගන්න උත්සාහ කරන්නේ.”

මේ සමාජයේ සිහින දකින්නන්ගේ ජීවිතය ගලා යෑම. ඒ ජීවිතවල ගලා යෑම ගැන චාලක කාලයක පටන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියටයි ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ ඔබ හමුවට එන්නේ. ඒත් දිගු කාලයකට පස්සේ.

“ඒ තරම් කාලයක් ගත වෙන්න තවත් මොන වගේ දේවල් ඔබට බලපෑම් කළා ද”

“අවුරුදු හතක් කියන්නේ දිගු කාලයක්. පසුගිය කාලයේ රටේ විවිධ අර්බුද ඇති වුණා. 2019 පස්සේ අවුරුදු තුන ගෙවුණේ නිකම් බොහොම ඉක්මනට. කොරෝනා වසංගතයත් එක්ක අවුරුදු දෙකක් අපි ගෙවල්වලට වෙලා හිටියා. ඊට කලින් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආවා. මේවත් එක්ක ගෙවල් ඇතුළට වෙලා ඉන්න කාලයකුයි ගත වෙලා ගියේ. ඒ කියන්නේ වැඩිය මුහු වුණේ නැති, වැඩිය සමාජ ගත වෙන්න බැරි වුණු අවුරුදු තුනක් ගත වෙලා ගියා. ඒ කාලයත් එක්කයි අපේ ජීවිත ගෙවුණේ. ඒකයි වේදිකාවත් එක්ක ගනුදෙනු කරන කාලය දික් වුණේ. අවුරුදු හතකට පස්සේ නැවත වතාවක් ඒ සියලු දේ අතුරින් මම යළිත් වේදිකාවට එනවා. ඒ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ අරගෙන.”

එහෙම වුණත් බොහෝ නිර්මාණකරුවන් මේ කටයුතු සිදු කරන්නේ බොහොම අපහසුවෙන්. පසුගිය කාලයේ තිබුණු මේ සියලු අර්බුද හමුවේ යළිත් ආර්ථික අර්බුදයක් ඇවිත්. ඒත් වේදිකාවට ආදරය කරන බොහෝ දෙනා කොහොම හරි වේදිකාව අතහැරලා ගියේ නැහැ.

“ඒ අතුරින් චාලකත් ඉන් එක්කෙනෙක්”

“බරපතළ ආර්ථික අර්බුදයක් සහ රටේ දේශපාලන අස්ථාවරත්වයක් තුළයි අපි මේ වේදිකා නාට්‍යය පටන් ගත්තේ. ඒ කියන්නේ මම ‘මාරක ළිඳේ සවාරියක්’ කරන කොට තිබුණු ප්‍රශ්නවලට වඩා මේ වනවිට සිය දහස් ගුණයකින් වැඩි අර්බුදවලට මුහුණ දෙන්න වී තිබෙනවා. විශේෂයෙන්ම වේදිකා නාට්‍යයක් පුහුණු වීම් කරන කොට ඒ සඳහා වැය කරන බර පැන කලින්ට වඩා විශාලයි. මේ වනවිට පුහුණු වන තැනකට වුණත් ගෙවන්න වන මුදල, ප්‍රවාහන පහසුකම් පුදුම විදියට වැඩි වෙලා. ඒ වගේම නාට්‍යයකට සෙට් එකක් පටවගෙන යනවා නම් කලින් ගෙව්වා වගේ තුන් ගුණයක් ගෙවන්න අපට සිදු වෙලා. කෑම බීමවලට වුණත් එහෙමයි. ඒ සේරටමත් වඩා වේදිකා නාට්‍යයක් වේදිකා ගත කරන්න පිට පළාතකට යනවා නම් ඒ සියලු දේ අරගෙන යන බස් එකට දෙන්න වන වියදම විශාලයි. මේ සියලු අර්බුද රැසක් එක්කයි අපි මේ වේදිකා නාට්‍යය පටන් ගත්තේ. ඒ වගේ ම දිලූපා නිරෝෂනී මහත්මියගෙන් ලැබුණු හයියත් මෙවැනි නිර්මාණයක් කරන්න අපට බලපෑවා. මේ වෙලාවේ මෙවැනි දෙයකට තනියම මා අත ගැහුවා නම් සෑහෙන අර්බුදවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒ ලැබුණු නිෂ්පාදන හයියත් මේ නිර්මාණය බිහිවෙන්න හේතුවක්.”

කොයිතරම් අපහසුකම් තිබුණත් වේදිකාව අතහැර නොගිය චාලක ඇතුළු පිරිසගේ සිත්වල වර්තමාන ප්‍රේක්ෂකයන් පිරිස ගැනත් විවිධ අදහස් පෙළ ගැසුණා. ඔවුන් සිටියේ එදා වගේ ම ප්‍රේක්ෂකයන් එක්ක.

“ඔවුන්ට සිදු වෙලා තියෙන්නේ මොනවාද”

“මේ වනවිට අපේ ජන සමාජය ඇතුළේ තියෙන හිරවීමත් එක්ක එන්ටර්ටේන්මන්ට් කියන කොටස අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන් ම රටක් හැටියට, ජාතියක් විදියටම වින්දන අවස්ථා සීමිත තැනකයි තියෙන්නේ. ඒ නිසා මේ වින්දනීය අවස්ථාව ඉතා පොඩියට හරි හදලා දෙන්නයි අපි මේ උත්සාහ ගන්නේ. ප්‍රේක්ෂකයන්ට දියුණු වින්දනයක් ලබා දෙන්නයි අපි හැමවිටම උත්සාහ ගන්නේ. මේ නාට්‍ය නිෂ්පාදනය කරලා ප්‍රේක්ෂකයන් අතරට ගෙන යෑම මඟින් එයයි අප බලාපොරොත්තු වන්නේ.”

චාලකම පවසන අන්දමට වේදිකා නාට්‍යයක පසුතලය රැගෙන යෑම අද වනවිට විශාල ගැටලුවක්. එහෙම හිතන කොට අපේ මතකයට එන්නේ ඔහුගේ ‘මාරක ළිඳේ සවාරියක්’ වේදිකා නාට්‍යයේ වේදිකා පසුතලය. ඒක ඒතරමටම සංකීර්ණයි.

“ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යය සදහා යොදා ගන්නා පසුතලය ගැන ඔබ මෙවර යම් වෙනස්කමක් කිරීමට සිතුවා ද?”

“ ‘මාරක ළිඳේ සවාරියක්’ සඳහා මා භාවිත කළේ දැවැන්ත පසුතලයක්. ඒත් මේ වේදිකා නාට්‍යය සඳහා යොදා ගන්න පසුතලය සරල කරන්න සිතුවා. මොකද මේ කතා වස්තුව ම සරලයි. ‘මාරක ළිඳේ සවාරියක්’ සඳහා සාහිත්‍ය වටිනාකමක් තියෙන ගම්පෙරළිය නවකතාවෙන් ගත්ත චරිත ටිකකුයි වර්තමානයට ගෙනැල්ලා කතාව ලිව්වේ. ඒ නිර්මාණය අධ්‍යාපනික වටිනාකමක් තියෙන නාට්‍යයක් විදියට එළියට ගත්තේ. මේ නිර්මාණය ඊට වඩා සරල, එහෙත් ඇතුළාන්තයෙන් යටි පෙළක් දිගහැරෙන කතාවක් විදියටයි පෙළ ගැසෙන්නේ. ඒ වගේ ම මේ වේදිකා නාට්‍යය සඳහා යොදාගත් පසුතලය සරලයි. එහෙම වීමට හේතු කාරණා ගොඩක් බලපෑවා. අපට අවශ්‍යයි විශේෂයෙන් ම මේ නාට්‍යය දීර්ඝ දර්ශන වාර ගණනකට රැගෙන යන්න. කලින් වගේ දවැන්ත පසුතලයක් මේ වගේ කාලයක අරගෙන යන්න අපහසුයි. ඒ නිසයි ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ නාට්‍යය නිෂ්පාදනය කරන තැන ඉඳලාම අපි සෑම දෙයක් ගැනම සිතුවේ. ඒ වගේම විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට යා යුතුයි කියන අදහසේ ඉඳීමිනුයි අප මේ වේදිකා නාට්‍යය නිර්මාණය කළේ.”

වේදිකා පසුතල ගැන ඒ විදියට කතා කරද්දි එහි රඟපාන රංගන ශිල්පින් හා ශිල්පිනියන් ගැනත් කතා නොකරම බැහැ. මන්ද බොහොම අවිවේකි රංගන ශිල්පීන් කිහිපදෙනෙකුම ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වන නිසා.

“ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?”

“රංගන ශිල්පීන් හා ශිල්පිනියන් එකතු කරගැනීම කලින්ට වඩා ටිකක් අපහසුයි. ඔවුනුත් ඉන්නේ අනෙක් අය වගේම දැඩි ජීවන අරගලයක. මේ වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණු හැමෝම වගේ ටෙලි නාට්‍යවල ප්‍රධාන භූමිකා රඟපාන අය. ඒ අයගේ ප්‍රධාන වෘත්තිය රංගන ශිල්පය. වෘත්තිය දේවල් ඒ අයට ලැබෙන්නේ ඒවත් එක්ක වැඩ කළාට පස්සෙයි. ඒ නිසා ඔවුන් එක්ක දින වෙන්කර ගැනීමේදී සෑහෙන්න අර්බුදවලට මුහුණ දෙන්න වුණා. ඒත් අපි කොහොමහරි මේ කටයුතු කරගෙන යනවා. අනෙක් කාරණය නාට්‍යකරුවන්ට මේ පුහුණු වීම්වලදි පුහුණු වීම් සඳහා ඉඩ ප්‍රස්ථාව වෙන් කර ගන්න පාසලක් හෝ වෙනත් තැනක් රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් ආයතනයකින් වෙන් කරලා නැහැ. ඒවාත් අපි මුදල් වියදම් කරගෙනමයි කරගෙන යන්නේ.”

මේ අතර හෙමිහිට චාලක නාට්‍යය පුහුණු වීම් අතරට එක් වුණා. ඒ අතර මා සමඟ කතාබහ කිරීමට එක් වුණේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍යයේ නිෂ්පාදිකාව. දිලූපා නිරෝෂනී.

“අද කාලයේ ඕනම නිෂ්පාදනයකට මුදල් යෙදවීම පහසු කාර්යයක් නොවෙයි”

“මම වේදිකා නාට්‍ය ලෝලිනියක ලෙසයි හඳුන්වන්න කැමැති. මගේ පාසල් කාලයේ පටන්ම රූපවාහිනියේ මුතුහර වැඩසටහනට එකතු වුණු තැන ඉඳලාම මා බෙහෙවින් වේදිකා නාට්‍යවලට ලොල්වුණු තැනැත්තියක්. එහෙම ගෙවාගෙන පැමිණි කාලයේ මට චාලකව හමු වෙනවා. ඒ වනවිට චාලක ඉතා උසස් ගණයේ නිර්මාණ කිහිපයකටම දායක වී තිබුණා. ඒ වගේ ම අපේ තිබුණු යාළුකම් උඩ මම ඔහුගේ නිර්මාණයක් සඳහා නිෂ්පාදන කටයුත්තට දායක වීම පිළිබඳ චාලකත් එක්ක කතාබහ කළා. අපි මේ නිර්මාණය ගැන කතා කරගෙන ආවේ දිගු කාලයක පටන්. පසුගිය කාලයේ ඒ අවස්ථාව සඳහා අත්පොත් තියන්න අපට පුළුවන් වුණා. ඒ කාලය ඇතුළේ මොන වගේ ප්‍රශ්න තිබුණත් චාලකගේ මේ පිටපත නිෂ්පාදනය කරන්න මා කැමැති වුණා. එහෙමයි මේ කටයුත්තට මා මුල පුරන්නේ.”

චාලක රණසූරියට දිලූපාගේ මුණ ගැසීම දිලූපාගේ විතරක් නොවෙයි චාලකගේ වේදිකා නාට්‍ය සිහිනය සැබෑ කරගන්නත් හේතුවක් වුණා. එහෙම වනවිට දිලූපා චාලකගේ අනෙක් වේදිකා නාට්‍ය නිර්මාණත් සංවිධානය කළා.

“ඒ භූමිකාවේ සැරිසරන විට ඔබ මුහුණ දුන් ගැටලු මොනවා ද?”

වේදිකා නාට්‍යයක් සංවිධානය කරන කොට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සඳහා පසුගිය කාලයයි හොඳම උදාහරණය. ‘මාරක ළිඳේ සවාරියක්’, ‘බොක්ස්’ වගේ චාලකගේ අනෙක් නිර්මාණ රට වටා අරගෙන යන ගමනේදි ශාලා වෙන් කරගැනීමේදී ඇති වුණු ගැටලු ඒ සඳහා ගන්න පුළුවන්. පසුගිය කාලයේ නාට්‍යයක් වේදිකා ගත කරන නගර ඇතුළේ තියෙන මෙවැනි ශාලා සපත්තු, රෙදි පිළි සේල් තියන්න වෙන් කරගෙන. ඒකත් දවසකට දෙකකට නොවෙයි. දීර්ඝ කාලයකට. ඒ කියන්නේ දින 20ක් විතර. ඉතිරි දිනවලදි අපේ රංගන ශිල්පීන්ට දින නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ වගේ දේවල් සඳහා රජයේ මැදිහත් වීමෙන් යුතුව යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕන. නාට්‍යකරුවන් කියන්නේ බොහොම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ නිර්මාණ තමන්ගේ වියදමින් කරන පිරිසක්. ඔවුන්ට බොහෝ වෙලාවට නිෂ්පාදකයන් එකතු වෙනවා අඩුයි. ඒ වගේ ම මේක ලාබ ලබන වෘත්තියක් නොවෙයි. එහෙම කෙනෙකුට නාට්‍ය දර්ශන වේදිකා ගත කරන්න ස්ථාන නැහැයි කියන්නේ ලොකු අර්බුදයක්. මා විශ්වාස කරන්නේ ඒ සඳහා විසඳුම් අවශ්‍ය බවයි. මම වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ වචනවලට සීමා නොවී ඒ සඳහා යම් සැලසුමක් සකස් කරන්න යන්නයි. ඒ වගේ ම ඔවුන්ගෙන් මා ඉල්ලන්නේ නාට්‍යකරුවන්ට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙසයි.”

මේ අතර අප අතරට යළිත් පැමිණියේ ‘මාරක ළිඳේ සවාරියක්’ වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. චාලක රණසූරිය. ඔහුගෙන් මා මෙහෙම විමසුවා.

“මේ තරම් මහන්සියෙන් සිදු කරනු ලබන වේදිකා නාට්‍යයක් නරඹන්න ප්‍රේක්ෂකයන් පැමිණේවි ද?”

“මෙහෙමයි, පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් නොතිබුණු නිසා, නැවත වතාවක් අඩුපාඩුකම් මැද්දේ වුණත් ඔවුන් නාට්‍යයක් නරඹන්න එන යම් ප්‍රවණතාවක් තියෙනවා. පසුගිය කාලයේ අපේක්ෂා නාට්‍ය මංගල්‍ලය අවසන් වුණා. ඒවා නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් නාට්‍ය ශාලාව පිරී ඉතිරී ගිහින් තිබුණා. හැබැයි මේ තත්ත්වය තිබෙන්නේ කොළඹ. ඒත් අපි දන්නේ නැහැ එතැනින් පරිබාහිරව ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය කොහොම වේවි ද කියලා.”

එහෙම වෙන්න නම් උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට අවශ්‍යයයි.

“මේක ඇවිල්ලා ජාතික අවශ්‍යතාවක්. දියුණු රසවින්දනයක් ජාතියක් විදියට අවශ්‍යයයි. ඒ වගේ ම ඒක ඉදිරි පරම්පරාවටත් අවශ්‍යයයි. මොක ද එකේ ප්‍රතිඵලය තියෙන්නේ සෑහෙන්න ඈතකයි. වර්තමානය වනවිට දෙමවුපියන් අපේ දරුවන්ගේ මානසිකත්වය විභාගවලට හදන පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. ඔවුන් දරුවන්ව පෞද්ගලික පන්තිවලට එක්කගෙන යනවා; උගන්වනවා; උගන්වනවා මිසක් වෙන දෙයක් නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් නිර්මාණශීලී පුද්ගලයකු බිහිවේවි කියන විශ්වාසයක් ඇත්තේ නැහැ.”

එලෙස පවසන විට අපගේ සිතට පැන නැඟෙන ගැටලුව වන්නේ පාසල් අධ්‍යාපනය ඇතුළේදිවත් එවන්නන් බිහිවේවි ද කියන කාරණයයි.

ඒවා ඇතුළේ නිර්මාණශීලි මිනිස්සු බිහිවෙනවා අඩුයි. එහෙම වීමට නම් ඒ සඳහා දියුණු රසවින්දනයක් තියෙන්න ඕනෑ. දියුණු කලා භාවිතයක් තියෙන්න ඕනෑ. අපි රටක් විදියට එහෙම දියුණු තැනක නැහැ. ඒ එක්කම ඒ සඳහා පුහුණු වුණු තැනකුත් නැහැ. මේ නිසයි ඒ අවශ්‍යතාව ජාතික මට්ටමක් දක්වා ගමන් කරන්නේ. ඒ ඔස්සේයි අනාගත පරම්පරාවේ නිර්මාණශීලි දේවල් එකතු වෙන්නේ. ඒ ඔස්සේයි ඔවුන්ගේ පරිකල්පනය හා චින්තනය පොහොසත් වෙන්නේ. ඒ චින්තනය ඇතුළෙයි නිවැරැදි දේශපාලන තීරණයක් වුණත් ගන්න පුළුවන් වෙන්නේ. එවැනි ජාතික අවශ්‍යතාවක් තිබුණට රාජ්‍ය මැදිහත් වීමකින්, සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් ඒ වගේ දේවල්වලට වෙහෙස වීමක්, අනුබල දීමක් අප දකින්නේ නැහැ. හැබැයි රාජ්‍ය නාට්‍ය උලෙළ පවත්වනවා. ඒ හැර නාට්‍යකරුවන් ගැන විශේෂයෙන් හිතන සංස්කෘතියක් අපේ රටේ නැහැ. ඒත් ඉතින් අපි වැඩ කරගෙන යනවා.”

Advertisement

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button